සිංහරාජ රක්ෂිත වනාන්තරය
සිංහරාජ රක්ෂිත වනාන්තරය
ශ්‍රී ලංකාව සතු ඓතිහාසික උරුමයේ ස්වභාවික උරුමයන්ගෙන් ප්‍රධානතම තැන ගන්න සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකා භූමිය තුළ ඉතිරි වී තියෙන, කිසිදිනක මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමකට ලක් නොවුණු, එකම ඉපැරණි ඝර්මකලාපීය සදාහරිත වැසි වනාන්තර ප්‍රදේශය විදිහට සැලකෙනවා.
සිංහරාජ වැසි වනාන්තරය “මිනිසා හා ජෛවගෝලය” (Man and Biosphere) නැතිනම් MAB ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කෙරුණු ජෛවගෝල සංරක්ෂිතයක් විදිහටත්, යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙන එකම මේ වනාන්තරය දේශීය වශයෙන් වගේම අන්තර්ජාතිකවත් දරන වැදගත් කමට හොඳ සාක්ෂියක්. 1970 ගණන් වලදී සිංහරාජ වනාන්තරයේ දැව ලබා ගැනීම සඳහා ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා. ඒ වගේම සිංහරාජයට අයත් අක්කර 2,500ක භූමි ප්‍රදේශය ඒ තුළ පවතින සියලු ශාක සහ සත්ව කොට්ඨාශ ආවරණය වෙන විදිහට සොබාදහම රැකගැනීමේ අන්තර්ජාතික සංගමයේ (IUCN) අන්තර්ජාතික ජෛවවිද්‍යාත්මක වැඩසටහන යටතේ (IUCN – IBP) දැඩි රක්ෂිතයක් බවට පත් කෙරුණා.
සිංහරාජ වනාන්තරය සාරවත්ව වැවුණු හරිත ශාක, ඝනව වැඩුණු තුරු වදුළු, අභ්‍යන්තර ජල තටාක සහ දිය දහරා ගණනාවක් සහිත ලෝකයේ වැඩිම ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ අතීතයේ සිටම සුරැකී තියෙන ඝන වන වැස්ම ඇතුලේ සරුවට වැඩෙන ගස්වැල් විශේෂ වගේම සත්ව විශේෂ විශාල ගණනාවක් දකින්න ලැබෙනවා: උස ගස් දිගේ ඉහළ නගින නිමක් නැති වැල් වර්ග, උඩවැඩියා වර්ග, කුරුළු වර්ග ගණනාවක්, ඉතාම දුර්ලභ සර්ප විශේෂ, අපටම ආවේණික දැකුම්කලු කෘමි විශේෂ, උභයජීවී වර්ග විශාල ගණනක් වගේම ජල තටාක වල ජීවත් වෙන නානාප්‍රකාර මත්ස්‍ය විශේෂ සිංහරාජ වනාන්තරයේ දැක ගන්න පුළුවන්. මේ සත්ව සහ ශාක විශේෂ ඉතා ඉහළ ප්‍රතිශතයක් අපටම ආවේණික නිසා සිංහරාජ වනාන්තරය මිල කළ නොහැකි සම්පතක්. උදාහරණයක් විදිහට ලංකාවට ආවේණික කුරුළු විශේෂ 20න් 18 ක්ම සිංහරාජය තුල දැකගන්න ලැබෙනවා වගේම සිංහරාජයේ ගස් වර්ග වලින් 60%ක්ම අපේ රටට අවේණිකයි කියලා සැලකෙනවා.
අවුරුදු ගණනාවක් තිස්සේ කෙරුණු පරීක්ෂණ වලට පසුව වුණත් අදටත් මෙතෙක් සොයා ගන්න බැරි වුණු සත්ව විශේෂ සිංහරාජය තුලින් වරින් වර හමු වෙනවා. මෑත කාලයේදී සිංහරාජයේ උඩු රෝපණයේ ජීවත් වෙන අලුත්ම සර්ප විශේෂයක් සොයා ගැනුණා. මොවුන්ව නම් කෙරුණේත් “සිංහරාජ ගස් සර්පයා” කියන අරුත දෙන “Sinharaja tree snake” කියලයි.
Comments
Post a Comment